Skip to main content

අත බලා සාස්තර කීමේ ඉතිහාසය සොයා ගියෙමි.

“සාස්තර” මේ කියන වචනේ අහපු ගමන්ම හුඟ දෙනෙක්ගේ හිතට එන්නේ “ඕවා බොරු කතා” කියන අදහස. ඔය පාරවල් ගානේ හන්දි ගානේ පන්සල් දේවාල ගානේ ඉන්න අහිකුන්ඨික කාන්තාවෝ නම් 100% ක්ම වගේ කියන්නේ අමූලික බොරු තමයි. ඒත් අපිට එතනින් නැවතිලා මේක බොරුවක් කියන්න බෑනේ. මොකද කාලයක් තිස්සේ පවතින්න නම් මෙතන මොනම හරි දෙයක් තියෙන්න ඕනේ.

“අත බලා සාස්තර කීම” එහෙම නැත්නම් බර වචනෙන් කියනවා නම් හස්ත රේඛා ශාස්ත්‍රය ගැන අපි මොනවද දන්නේ? ඉතින් මට හිතුනා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න ඕනේ කියලා. පත්තර පොත් ඇතුලේ, අන්තර්ජාලය ඇතුලේ මේ ගැන යහමින් කරුණු ටිකක් හොයාගන්න මට පුළුවන් වුනා කියලා මට හිතෙනවා.
ඔයා හිතන්නේ මේ අත බලා සාස්තර කියන්නේ ආසියානු රටවල විතරයි කියලද? නෑ එහෙම නෑ. කොහොම වුනත් හස්ත රේඛා විද්‍යාව ආරම්භ වෙලා තියෙන්නේ ඉන්දියාවේ. එතනින් චීනයටත් චීනයෙන් ඊජිප්තුවටත් ඊජිප්තුවෙන් ග්‍රීසියටත් ග්‍රීසියෙන් යුරෝපයටත් ව්‍යාප්ත වුනා කියලා තමයි දැනගන්න ලැබුනේ.
යුරෝපය ඇතුලේ මේ හස්ත රේඛා ශාස්ත්‍රය වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හේතුවුන එක පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඔහුව එක එක තැන්වල විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. William John Warner එහෙම නැතිනම් cheiro මෙන්න මේ පුද්ගලයා ප්‍රසිද්ධ චරිත වල අත බලලා කියපු විශ්මිත අනාවැකිය හින්දා තමයි යුරෝපය පුරා මේ ගැන කතා වෙන්න පටන් අරන් තියෙන්නේ. ඔහු ගැන හොඳ විස්තරයක් Wikipedia ඒකෙන් ඔයාට කියවන්න පුළුවන්. 
කොහොමින් කොහොම හරි මේ අත බලා සාස්තර කියන එක ආරම්භ වෙලා තියෙන්නේ ඉන්දියාවේ. ඒ කොහොමද කියලා ඔයාට හිතුනේ නැද්ද? ඒ ආරම්භය ගැන හොයාගෙන යද්දී මට මෙන්න මේ වගේ කරුණු ටිකක් තමයි කියවන්න ලැබුනේ.
අත බලා සාස්තර කීම , හස්ත රේඛා ශාස්ත්‍රය ඔතනින් තව ටිකක් එහාට ගියාම මේ ශාස්ත්‍රය හඳුන්වන නිවැරදි ක්‍රමය තමයි “ සාමුද්‍රික ශාස්ත්‍රය” කියලා කියන්නේ. “සමුද්‍ර” නම් වුන සෘෂි වරයෙක් මේ ශාස්ත්‍රය ලොවට දායාද කරපු හින්දා තමයි මේ නම ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඈත අතීතයේදී “පාර්වතී” දෙවියන්ගෙන් නන්දි දිව්‍ය රාජයාටත් ඔහුගෙන් කමලමුණි නම් සෘෂි වරයාටත්, ඔහුගෙන් මච්චකෙන්ද සෘෂි වරයාටත් මේ ශාස්ත්‍රය ලැබුණු බව තමයි පොත් පත්වල ලියවිලා තියෙන්නේ. එහෙම බැලුවම මේක කොයිතරම් පරණ ශාස්ත්‍රයක් ද කියලා ඔයාට තේරෙනවනේ නේද?
මේ ඉපැරණි ශාස්ත්‍රය ගැන දැනුම් තේරුම් නැති අය කියන සාස්තර නිසා මේ ගැන බොහෝ දෙනෙක් ගේ සැලකිල්ල අඩුවෙලා තියෙනවා. අපි කළලයක්ව හිටිය කාලේ අත්ල තදින් මිරිකා ගෙන හිටිය නිසා ඇතිවූ රේඛා වලින් පුද්ගලයෙකුගේ ජීවිතය ගැන විස්තර කරන්න පුළුවන් ද කියන කාරණේ නම් ගැටළුවක් වුනත් මෙහි යම් ඇත්තක් වුනත් තියෙන්න පුළුවන් කියලයි මටනම් හිතෙන්නේ. මොකද අපේ අත්ල අපිට අනන්‍යතා සහතිකයක්. නිවුන්නු අතර වුනත් අත්ලේ අසමානතා රැසක් පිහිටලා තියෙනවා, ඒ හින්දනේ අපි finger prints පාවිච්චි කරන්නේ. කෙනෙක් ගේ අත්ල කියන්නේ ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වයයි.
මේ ගැන බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධ කරලා බැලුවොත් අපිට මේ ශාස්ත්‍රය ඇත්තක් බවට පිළිගන්න සිදුවෙනවා. ඔයා දන්නවා නේද අපේ සිදුහත් කුමාරයාගේ නම් තැබීමේ උත්සවයට අංග ලක්ෂණ බලලා අනාවැකි කියන බමුණන් 108 දෙනෙක් කැඳෙව්වා කියලා ඒ වගේම ඒ අයගෙන් 107 දෙනෙක්ම කුමාරයා සක්විති රජ කෙනෙක් හෝ බුදුවරයෙක් වෙන බව අනාවැකි කිව්වා කියලා. ඒ වගේම එතන හිටිය ලාබාලම බමුණු පඬිවරයා කොන්ඩඤඤ කුමරු අනිවාර්යයෙන්ම බුදු වෙන බව පැවසු බව අපේ බෞද්ධ සාහිත්‍ය තුල කියවෙනවා නේද? එය බොරුවක් නෙමෙයි නම් මේ ශාස්ත්‍රයත් බොරුවක් වෙන්න බෑ නේද?
භාරත දේශයෙන් පටන් අරගෙන චීනයට, පර්සියාවට, අරාබියට,  ග්‍රීසියට හා රෝමයට මෙන්ම  14 වැනි හා 15 වැනි ශත වර්ෂ අතර කාලයේදී හස්ත රේඛා ශාස්ත්‍රය ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවලට පැතිර යනවාත් එක්කම  එහිදී එක්තරා වැදගත් දියුණුවක් හස්ත රේඛා ශාස්ත්‍රයට ඇතිවීමට පටන්ගෙන තියෙනවා. නමුත් හස්ත රේඛා ශාස්ත්‍රය හා ජ්‍යෝතිෂ්‍යය ශාස්ත්‍රය ක්‍රිස්තියානි පූජකයන්ගේ බලපෑම් නිසා කලකදී තහනම් වෙලා තියෙනවා.. ජ්‍යෝතිෂ්‍යය ශාස්ත්‍රය, හස්ත රේඛා ශාස්ත්‍රය, භූත විද්‍යාව ප්‍රගුණ කළ දහස් දෙනා එම කාලයේදී මරුමුවට පත් කරලා තියෙනවා.. එංගලන්තයේ 1 වැනි එළිසෙබත්ගේ ඉඳලා  2 වැනි ජෝර්ජ් රජ කාලය 1558 – 1770 වෙනකන්ම  මේ තහනම තිබුණු බව ඉතිහාසයේ ලියවිලා තියෙනවා.
ඉතින් ඔය විදියට ප්‍රහාරයට ගොදුරු වෙච්ච  හස්ත රේඛා ශාස්ත්‍රය ආයෙමත් නැගිටින්නේ  19 වැනි සියවසයේදී. නූතන හස්ත රේඛා ශාස්ත්‍රඥයන්ගේ අසීමිත ගවේෂණ හින්දා  මෙම හස්ත රේඛා ශාස්ත්‍රය විද්‍යාත්මක මුහුණුවරක හුඟක් සමීප වෙලා තියෙනවා. ශ්‍රී  ලංකාවේත් හස්ත රේඛා ශාස්ත්‍රය ඉතාමත් දියුණු අවධියක තිබුණු බව  අවුරුදු 3000කට වඩා පැරැණි ශාස්ත්‍රීය ග්‍රන්ථවල පිටපත් වල සඳහන් වෙලා තියෙනවා.  ඒ වගේම  ශ්‍රී  ලංකා තෙද බල ඇති රාවණා රජු පවා නොයෙක් හස්ත ශාස්ත්‍ර හා හස්ත රේඛා ශාස්ත්‍රය දැනන් හිටියා කියල  වීදාගම ස්ථවිරයන්ගේ “එළු අත්තනගලු වංශය” පවා ලියවිලා තියෙනවා.
නවීන විද්‍යාවේ දියුණුවත් එක්ක මිත්‍යා විශ්වාස , ඇදහිලි විදියට සලකා අපෙන් දුරස් වූ දේවල් අපමණයි. නමුත් නවීන තාක්ෂණයත් එක්ක විටෙක ගැටෙමින් තවත් විටෙක නවීන තාක්ෂණය පරයමින් නවීන තාක්ෂනය තුල වුවත් දියුණු වෙමින් තවමත් ඉදිරියට යන ශාස්ත්‍රයක් බවට පත්වෙන්න හස්ත රේඛා ශාස්ත්‍රයට හැකියාව ලැබී ඇත්තේ මෙහි ඇති සත්‍යතාව නිසාම වන්නටත් පුළුවන්.
ඖෂංගි ගායනා සේනානායක.

Comments

Popular posts from this blog

කුළුඳුල් දරුවන් අතර විවාහය සුදුසු නැද්ද?

ඔයා , මම අපි හැමෝම දිනන්න කැමතියි. සාමාන්‍යයෙන් දුවන තරඟයකදි දිනන්නේ පළවෙනියටම තරඟය ඉවර කරන කෙනා. ඒ වගේම පන්තියක වුනත් දක්ෂයා විදියට පිළිගන්නේ පන්තියක පළවෙනියා වෙන කෙනා. හැබැයි ඉතින් පවුලක පළව්නියා වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. රජ පවුලක නම් පියාට පස්සේ රජකම උරුම වෙන්නේ පවුලේ වැඩිමල් දරුවට. මම දන්න එක කපල් එකක් හිටියා. ඒ දෙන්නා හැම අතින්ම ගැලපෙනවා. ඒත් ඒ දෙන්නගේ විවාහයට එයාලගේ අම්මලා තාත්තලා විරුද්ධ වුනා. දෙන්නම පවුලේ වැඩිමල් දරුවො හින්දයි මේ විදියට දෙමව්පියො අකමැති වුනේ. කුලුදුල් දරුවන් අතර විවාහය සුදුසු නෑ කියන මතයක් අපේ පරණ ජනසිරිත් ඇතුලේ තිබිලා තියෙනවා. හරි දේ හරි විදියට කරන එක හුඟක් වටිනවා. වැරදි දේ වැරදියි කියලා පිළිගන්න එකත් ඒ තරමටම වැදගත් දෙයක්. සාර්ථක මිනිහෙක් වෙන්න හොඳ දැක්මක් , ශක්තිමත් ආදායම් මාර්ගයක් නිවැරදි ආකල්ප තියෙන්න ඕනේ. ගතානුගතික අදහස් , පාරම්පරික මත හින්දා හිරවෙලා ජීවත් වෙන්න අපිට බැහැ. කාලෙත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක වෙනස් වුනේ නැතිනම් අපි පස්සට යනවා. අද මම ඔයාට ලියන්නේ වැඩිමහල් දරුවො , කුළුදුල් දරුවො දෙන්නෙක් අතර සිද්ධ වෙන විවාහ...

මුහුණු සයයි අත් දොළහක් ඇති කතරගම දෙවිඳුන්

දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා කතා බහ කරද්දී එකිනෙකාට තියෙන කරදර ප්‍රශ්න ටිකෙන් ටික එළියට එනවා. වෙලාවකට හිතෙනවා කොහොමද මේ දේවල් විසඳගන්නේ කියලත්. ජීවිතේ ප්‍රශ්න එද්දී කරදර වලට මුහුණ දෙන්න වෙද්දී තමයි අපිට දෙයියො සිහිවෙන්නේ. සිංහල ජනවහරේ එන විදියට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැඳුන රටක් විදියට අපේ ලංකාව සලකනවා. ලංකාවේ අපි අදහන දෙවිවරු අතරින් කතරගම දෙවියන්ට ලැබෙන්නේ ප්‍රධාන තැනක්. දේව සංකල්පය ඇතුලේ ශ්‍රී ස්කන්ධ කුමාර් එහෙම නැත්තම් කඳ සුරිඳු මුල් කරගෙන ගොඩනැඟිලා තියෙන කතරගම පුදබිම දෙස් විදෙස් බැතිමතුන්ගේ ඉහළම ගෞරවාදරයට පත්වෙච්ච පුදබිමක්. ඉතින් ඒ හින්දම අද මට හිතුනා කතරගම දෙවියන් ගැන අපේ තියෙන විශ්වාස ඇදහිලි මත ගැන කතා බහ කරන්න. කතරගම දෙවියන් ව ජීවමාන දැක්ක බවට කියවෙන අවස්ථා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. හැබැයි දහස් ගණන් ජනතාව මේ කතරගම දෙවියන් ව විශ්වාස කරනවා. අතීත කාලේ ඉඳන්ම ස්වාධීන ජනාවාසයක් විදියට තිබුණ රෝහණ ජනපදය පඬුවස් දෙව් රාජ්‍ය කාලය වෙනකම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක්. සඳුන්ගම, මාගම, සහ කතරගම කියන කුඩා රාජ්‍යය තුනේ එකතුව තමයි රෝහණ ජනපදය කියලා හඳ...

මඟුල් පෝරුවේ රසවත් ඉතිහාස කතාව කියවන්න

චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔයා දන්නවද? චාරිත්‍ර කියලා කියන්නේ සිද්ධ කළ යුතු දේවල් වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන සැළකිලිමත් වෙන හොඳම අවස්ථාවක් තමයි විවාහය කියන්නේ. විවාහයක වැදගත් අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ අතරින් පෝරුව හා බැඳුන සිරිත් විරිත් ගැන වගේම පොරුව හා බැඳුන මිත්‍යා මත ගැන තමයි මම අද ඔයාට ලියන්න යන්නේ. ඉතින් ඔයා දන්නවද කොහොමද මේ පෝරුව ආරම්භ වුනේ කියලා. පෝරුවේ චාරිත්‍ර කොතන කොයිවිදියට ආරම්භ වුනාද කියලා නිශ්චිත සාක්ෂි හම්බවෙන්නේ නෑ. ඒ හින්දා විවිධ අය මේ ගැන විවිධ මත පළ කරනවා. මහා සම්මත රජකාලේ ඉඳලා මේ පෝරුව පැවතගෙන එන බව සමහරුන්ගේ අදහසයි. මහා සම්මත රජු හා මැණික්පාලී කුමරිය අතර සිද්ද වෙච්ච විවාහ මංගල්‍යයට දස්කම් දිව්‍ය රාජයා විසින් කරපු නිර්මානයක් විදියටත් ඒ වගේම  පද්මාවතී කුමරිය බරණැස රජුට පාවා දුන් අවස්ථාවේ ඉඳලා මේ පෝරුව පැවත එන බවත් සඳහන් වෙනවා. තවත් මතයක කියවෙන විදියට සිද්ධාර්ථ යශෝදරා විවාහයේ පටන් මේ පෝරු චාරිත්‍ර ආරම්භ වුන බව පිළිගන්නා පිරිසකුත් අපි අතර ඉන්නවා. අලුත් යුවළට සෙත් ශාන්ති උදාකරන ක්‍රමයක් විදියට මේ පෝරුව චාරිත්‍ර හඳුන...